Wednesday, October 10, 2012

අතින්ද්‍රීය ඡායාරූපකරණය - Extra-sensory Photography




කාලෙකට පස්සේ ජුන්ඩක් විතර දාර්ශනික (අඩුම තරමේ මගේ පුද්ගලික දර්ශනෙට අදාළ) ලිපියක් පල කරන්න හිතුන. මේක මම මේ වෙන වැඩකට ලියපු එකක්. ඒ නිසා මේ ඡේදෙන් පස්සේ ටිකක් විතර නිල ගතියක් ආරුඪ වෙනවා. ගණන් ගන්න එපා හොඳෙයි? අමාරුවෙන් හරි කියවල බලන්නකෝ.


"බුදු දහමේ ප්‍රකාශිත යයි අද වන විට ගිහි-පැවිදි බහුතර මතයේ පවතින බොහොමයක් අතින්ද්‍රීය කරුණු, (පුනර්භවය, දේව සංකල්ප, ප්‍රේත හා වෙනත් අමනුෂ්‍ය 'තල' ආදියද ඇතුලත්ව) සහ වෙනත් ආගමික 'හාස්කම්' විද්‍යාවෙන් පහදා දීමේ විශාල ව්‍යායාමයක් අද වන විට ව්‍යාප්තව ඇත. මෙයට හේතුව සහ මෙහි සරලව සඳහන් කළ කරුණ තවත් ලිපි ගණනාවකින්, පුළුල්ව විග්‍රහ කළ හැකි අතර, එයිනුදු එහි සත්‍ය-අසත්‍යතාව පිලිබඳ කිසිදු වාස්තවික නිගමනයකට එළඹීමට උගහට වනවා නොඅනුමානය. කෙසේ වෙතත් මෙහිදී අප විසින් සැලකිය යුතු විශේෂතම කරුණ නම්, කිසිවක් නොදන්නා ජනතාවට වඩා, විද්‍යාව නමින් යම් දෙයක් උගෙන ඇති, තව දුරටත් ඉගෙනීමට, සෙවීමට බැලීමට වුවමනාවක්/හැකියාවක්/විභවයක් නැති හෝ ඒ පිලිබඳ විශේෂඥ දැනුමක් මේ වන විටත් නොමැති (ඔබ හා මම මෙම යට කී දෙගණයට වැටී ඇති කීම වඩා නිවැරදිය. කෙසේ වෙතත් අප හට තව දුරටත් සෙවීමට බැලීමට විචාර බුද්ධිය හා විභවය නැති යයි කීම අසාධාරණ ය ) පුද්ගලයින් මෙම ඊනියා සාධක වලින් නොමඟ යැවීම නිතර දෙවේලේ සිදුවන්නකි . මේ නිසා හැකි තරමින් මේවායේ වලංගුභාවය උරගා බැලීමට උත්සාහයක යෙදිය යුතුය. 

අද වන විට මහජන සන්නිවේදන මාධ්‍යයන් ඔස්සේ පවා ඉවක් බවක් නොමැතිව බෝතල් වල සිටින භූතයින්, පහන් අසල භාවනා කරන ප්‍රේතයින්, දේවතා එලි වල ඡායාරූප, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පාමුල ජීවමානව බවුන් වඩනා බුදු රදුන්ගේ ඡායා රූප, අහඹු චායාරූප වල පසු තලයේ සිටින නොපැහැදිලි රූප ආදී මෙකී නොකී දෑ බොහොමයක් මෙම අතින්ද්‍රීය තලයේ සත්වයන්ගේ සහභාගීත්වයට පටවා මිනිසුන්ගේ ඉහ මොළ උලා කෑමක් පැතිරී ඇත. (මෙහිදී සැලකිය යුතු කරුණක් නම්, එවැනි අතින්ද්‍රීය තලයක පැවැත්ම හෝ නොපැවැත්ම, හෝ යම් ආගමික මතයක සත්‍ය අසත්‍යතාවය ඔප්පු කිරීමට මෙම ලිපියේ කිසිදු අරමුණක් නොමැති අතර, මෙහිදී , පෙර කී ආකාරයෙන්ම අප කළ යුත්තේ ඊනියා සාධක වල වලංගුභාවය සලකා බැලීමයි..). නමුත් ඡායාරූපකරණයේ එන මූලික සංකල්පවත් අඩුම තරමේ ආධුනික මට්ටමකින් හෝ නොදැන මෙවැනි දෑ විග්‍රහ කිරීමට යාම තරමක් හාස්‍යජනකය. 

අතීන්ද්‍රීය තල ගැන බුදු දහමේ එන කරුණු පිළිගත හැකි නම්, නිතර්කයෙන්ම කැමරා කාචයකින් ආලෝක සංවේදී පරිපථ වල මෙවැනි භූත/අමනුෂ්‍ය දෑ සටහන් වීම බැහැර කළ හැකි විය යුතුය. මන්ද යත් කැමරා කාචයකින් සටහන් කළ හැකි යමක් ඇත්ද, ඒවා අනිවාර්යයෙන්ම විද්‍යුත් චුම්භක තරංග වර්ණාවලියේ දෘශ්‍ය කලාපයට ඇතුලත් හෝ ආසන්න ( ඇතැම් රාත්‍රී-ඡායාරූප කරන වලදී නම් අධෝරක්ත කලාපයට බරවත්, සමහර අපරාධ පරීක්ෂණ/විශ්ලේෂණ කටයුතු වලදී නම් පාර-ජම්බුල කලාපයට බරවත්) තරංග පරාසයක් ග්‍රහණය කර සටහන් කිරීමෙන් හට ගන්නා රූප වෙයි. මෙම පැහැදිලි කිරීමේදී අපට මුහුණ දීමට වන ප්‍රධාන තර්කයක් නම් "ඒ පිලිබඳ එතරම් විශ්වාසයෙන් කිව හැක්කේ කෙසේද?" යන්නයි. මෙම තර්කය, මිනිස් ඇස, වෙනත් සත්වයකුගේ සංවේදන ඉන්ද්‍රියයක් වැනි තවමත් අප විසින් මුළුමනින්ම වටහා නොගත් දෙයක් ගැන නම් වලංගුය. නමුත් මිනිසුන් විසින් නිර්මිත කැමරාවක් පිලිබඳ එවැන්නක් ඇසීම විහිළුවක් යයි මට සිතෙයි. එසේ නම් අප හට යම් ආකාරයකට ග්‍රහණය කළ හැකි මෙම විද්යුත්චුම්භක තරංග නිකුත් කරනා වස්තුන්, පැවතිය යුත්තේ අඩු වැඩි වශයෙන් හෝ අපගේ පැවතුම් තලයේම යයි අපට සිතිය නොහැකිද? 

මෙම තාක්ෂණික කරුණු ගැන කෙතරම් කතා කළ මුත් පලක් නොවෙයි. මන්ද යත් කෙසේ හෝ වචන ගැට ගසා තමන්ගේ තර්කයම පටලවාගෙන මේවා ඉදිරිපත් කිරීම අද සුලභ දෙයකි. එනමුත් අපට ඉතාමත් සරලවම කළ හැකි දෙයක් ඇත. එනම් මෙම පැමිණෙන එක් එක් අවස්තාව සරල විශ්ලේෂණ වලට භාජනය කිරීමෙන් ඒවායේ වලංගු භාවය සොයා ගැනීමය. මන්ද යත්, ශ්‍රී ලංකාවෙන් යම් ආකාරයකට මෙවැනි වෙනත් පැවතුම්-තල (planes of existence) පිලිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ඉදිරිපත් කළ හැකි නං එයම මිනිස් විද්‍යාවේ ගමන් මග වෙනසක් කරලන්නකි. නමුත් මෙසේ ඉදිරිපත් වන කරුණු බොහොමයක් එක්කෝ සංස්කරණය කළ (Doctored) ඒවාය. නැති නම් ඒවා කැමරා වල තාක්ෂණික දෝෂ වෙයි. 

උදාහරණ ලෙස අපට පසු ගිය දින වල පුවත් පත් වල පවා සටහන් වූ ලංකාවේ දී ගත්, විනෝද චාරිකාවක ඡායාරූපයක පසු තලයේ භූත රූපයක් දිස්වීම ගත හැකිය. ඉතාමත් පුදුමය නම් එම ඡායාරූපයේ සිටි භූත රූපය, එම ආකාරයෙන්ම (කොටින්ම ඒවා දෙකම එකම රූපය බව විශ්ලේෂණ වලින් හෙළි විය ) ඇමෙරිකානු ඡායාරූපයක එය ට වසරකට හෝ දෙකකට පෙරත් සටහන් වී තිබී ප්‍රසිද්ධ වීමය. පැහැදිලිවම එය වෙනස්කල ඡායාරූපයකි. මෙයින් මට නම් සිතා ගත නොහැක්කේ, පොදු ජනයාගේ මනස සහ තර්කය සමග මෙම ජිල් බෝල ගැසීමෙන් මොවුන් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියාය. තවද එක් වරක් සමාජ-ජාල වෙබ් අඩවි තුල පැතිරුණු එක් ඡායාරූපයක මහායාන රූපයකින් යුතු බුදු රුවක් අහසේ මැවී තිබෙනවා සටහන් විය. ඉංජිනේරුවන් පවා මෙම ඡායාරූපය ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුතුව පල කළහ. හේතු විමසු කළ කිවේ 'අප නොදන්නා දේවල් මේ විශ්වයේ ඇත. එනිසා එක් වරම බැහැර කළ නොහැක' කියාය. නමුත් නොදන්නා දෙය බැහැරලීමට මෙතරම් බිය පුද්ගලයින් දන්නා දෙය බැහැර ලීමට මැලි නොවන්නේ මන්දැයි මට නොහැඟේ! බුදුරදුහු උත්තර භාරතීය සම්භවයකින් යුතු බව බහුතර බෞද්ධ මතයයි. කොටින්ම පෙරදිග මහායාන මතයේද එය එසේමය. එසේ නම් දිගටි ඇස සහිත බුදු රුවක් මැවීමේ හාස්කමක් සිදුවිය හැක්කේ කෙසේද? තවද එම ඡායාරූපය ඉතා සුළු අධ්‍යයනයකින් පෙනී ගියේ එය සකස්කළ හෝ තාක්ෂණික දෝෂයක් නොවන බවයි. කොටින්ම එය වාහනයක ඉදිරිපස පුවරුවේ තිබු බුදු රුවක ඡායාරූපයක්, වාහනයේ ඉදිරිපස වීදුරුවේ ආංශික පරාවර්තනයෙන් සෑදුනු පිළිබිඹුවක් බවය. නොදන්නා දෙය බැහැර කිරීමට අපමණ බය නිසා සාමාන්‍ය විඥානය බැහැර කිරීම විහිළුවක් නොවෙයිද? 

මෙම කෙටි ලිපියෙන් අපට මෙවැනි සියලුම කරුණු පැහැදිලි කිරීමට නොහැකි බව පිළිගත යුතුය. මගේ යෝජනාව නම්, සියලුම මෙවැනි දේවල්, 'විද්‍යාවෙන් සියල්ල පැහැදිලි කළ නොහැක' යන්නට බිය නොවී දැඩි විශ්ලේෂණයකට ලක් කළ යුතුය. එවිට සියල්ලම පාහේ මෙවැනි පැහැදිලි කිරීමකින් නවතිනු ඇත. එසේ නොමැති නම්, අප නොදන්නා යමක් සොයා ගත් කෙනෙකු ලෙස එම ඡායාරූපය ගත් පුද්ගලයා සහ එයට 'අතින්ද්‍රීය පැහැදිලිකිරීමක්' (වඩාත්ම පිළිගත හැකි) දෙන පුද්ගලයා රනින් සැරසිය යුතුය. නමුත්, එසේ කළ යුත්තේ තාක්ෂණික විශ්ලේෂණයකින් පසුව මිස, තොරව නොවෙයි."

No comments:

Post a Comment